හිටපු විදුහල්පතිවරු හදුනා ගනිමු

මා එක්ක තරහ වුණත් මම හරියට වැඩ කළ නිසා දේශපාලකයෝ මට කරදර කළේ නෑ

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවේ
හිටපු විදුහල්පතිනි පර්ල් පෙරේරා 

1960 – 1972

අසූ පස් වියට එළැඹිලා සිටියත් තවමත් තමාගේ දෛනික වැඩකටයුතු ඉටු කරගෙන, පොත පත කියවමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ සැඳෑ සුවය විඳින්න ලැබෙන එකත් පූරුවේ වාසනාවක්. වියපත් වුවත් ඇගේ අතීතය තවමත් ඈට හොඳින් මතක තියෙන්නේ දින වකවානුත් එක්කමයි.
රත්නපුරේ ෆර්ගියුසන් උසස් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස මතක හිටින මෙහෙවරක් ඉටු කරලා අද විශ‍්‍රාම සුවයෙන් පසුවෙන ඈ පර්ල් පෙරේරා ගුරු මාතාවයි. එකෝමත් එක කාලෙක ඈ කරපු කියපු දේවල් මතකයේ පෙළ ගැස්සුවේ ඒ කටයුතු මාධ්‍යයෙන් ප‍්‍රසිද්ධ කිරීම ගැන ඇති වූ පුංචි සබකෝලයකින් ද යුතුවයි.
‘පර්ල් බි‍්‍රජට් පෙරේරා.’ ඒ ඇගේ මවුපියෝ උප්පැන්නෙට දාපු නම. ඈ වඩාත් ප‍්‍රකට වුණේ පර්ල් පෙරේරා නමින්. ඇගේ පියා එකල බැප්ටිස්ට් නිකායේ දේවගැතිවරයෙක්. ඔහු ගෙ නම ඒබ‍්‍රහම් පෙරේරා. අම්මා නැන්සි ද සිල්වා. පර්ල්ට වැඩිමල් සහෝදරියො හතර දෙනයි. ඈ පවුලේ බඩපිස්සි. පර්ල් උපන්නේ 1924 අගෝස්තු මාසෙ විසි තුන් වැනිදා හංවැල්ලෙදි. ඒ වනකොට පර්ල්ගෙ තාත්තා හංවැල්ල බැප්ටිස්ට් දේවස්ථානයේ දේවගැතිවරයා.
දේවස්ථානෙන් දේවස්ථානෙට තාත්ත මාරුවෙලා ගියෙ දරු පවුලත් එක්කමයි. පර්ල්ට අවුරුදු පහ පිරෙන කොට ඔවුන් පදිංචිව සිටියෙ බළංගොඩ. බළංගොඩ සීතල සුන්දර පරිසරයක පිහිටි පල්ලියේ ඉස්කෝලෙට පර්ල් ගියෙ ඇගේ වැඩිමහලු සොයුරියන් සමඟයි. පාසල් බිමේත්, පල්ලිය වටාත් මල් පාත්ති පිරිලා තිබුණා. පාට පාට මල්වලින් පිරුණු ඒ මල් පාත්තිවල සමනලුන් පිරිලා හිටි හැටිත්, සිරී පාදෙ වඳීන්න ඒ සමනලුන් පේළි පේළි ඉගිල ගිය හැටිත් බලමින් පුංචි දැරියක් විදිහට එදා සතුටු වූ හැටි තාමත් ඈට මතකයි.
ඒ සොඳුරු බළංගොඩ අතහැරල පර්ල්ලට කඩවතට එන්න සිද්ධ වුණේ තාත්තට කඩවතට මාරුවක් ලැබුණු නිසයි. පර්ල්ට අවුරුදු අටක් විතර වෙනතුරු ඈ ගියේ කඩවත පාසලකට. ආයෙමත් තාත්තට මාරුවක් ලැබුණු නිසා ඔවුන් රත්නපුරේට ගියා. ඒ වෙනකොට රත්නපුරේ පල්ලියෙන් පාලනය වුණු ෆර්ගසන් උසස් බාලිකාව ඇරඹිලා.
ප‍්‍රදේශයේ දැරියන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණැතිව ඇරැඹුණු ෆර්ගසන් බාලිකාවට තාත්තා පර්ල් ඇතුළත් කළා. බාලිකාවේ නේවාසිකාගාරෙ ඈත් සහෝදරියොත් නතර කළා. ඉන් පස්සෙ තාත්ත ඔවුන් යන යන තැනට එක්ක ගියේ නෑ. අක්කලත් සිටි නිසා පර්ල්ට නේවාසිකාගාරේ එතරම් වෙනසක් දැනුණේ නෑ. ඔවුන් ඇති තරම් නිදහසේ කී‍්‍රඩා කළා. අත්වැඩ, මැහුම් ගෙතුම් කී‍්‍රඩා වගේ ම ඉගෙනීමත් හොඳින් කළා. ඒ පල්ලියෙන් පාලනය වූ පාසලක් නිසා විනය බොහෝම ඉහළින් රැකුණා.
ඒ කාලේ ෆර්ගසන් බාලිකාවේ විදුහල්පතිනිය ඊ.ඒ. ඕල්සොප් මෙනෙවිය. බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක්. 1919 දී ඇරැඹුණු ෆර්ගසන් උසස් බාලිකාවේ දිගු කලක් සේවයත් කළ, පාසල උසස් තත්ත්වයකට පත් කළ දක්ෂ අවංක විදුහල්පතිනියක්. ඉංග‍්‍රීසි මාධ්‍ය පාසලක් වූ පාසලේ ශිෂ්‍යාවන් හොඳ අධ්‍යාපනයක් හික්මීමක් මෙන් ම උසස් කාන්තාවන් පිරිසක් බිහි කිරීමටත් ඈ ඇප කැප වුණා.
ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලෝකයේ ප‍්‍රථම විවාහක රූ රැජින වූ රෝසි සේනානායක වගේම ලංකාවේ ප‍්‍රථම දිසාපතිනිය වූ කුසුමා විලේගොඩත් ෆර්ගසන් බාලිකාවේ ආදි ශිෂ්‍යාවෝ.
පර්ල්ගේ දෙවැනි සහෝදරිය ජ්‍යෙෂ්ඨය සමත් වෙලා ෆර්ගසන් බාලිකාවේ ගුරු මණ්ඩලයට එක් වුණා. පර්ල් නේවාසිකාගාරෙ හිටියත් නෙට්බෝල් කී‍්‍රඩාවට දුවන්න පනින්න, ගීත ගයන්න ඔවුන්ට ඇති තරම් නිදහස තිබුණා. දිගු සති අන්තවල ඔවුන් ගෙදර නොගියොත් වටා පිටාවේ තිබුණු දිය ඇළිවල නාන්න ගියා. පාලිකාවන් සමඟම කෑම බීම හදාගෙන එළිමහනට ගිහින් විනෝද වෙලා හවසට නේවාසිකාගාරෙට ආවා.
පාසල් කාලේ ඉගෙනීම ඔළුවට ලොකු බරක් වුණේ නෑ. ඒකත් හරියට සෙල්ලමක් වගේ. විනෝදෙන් සතුටින් වගේම සැහැල්ලුවෙන් ඉගෙනීම කරගෙන ගියා. ඉරිදාට හැමදාම බයිබල් පන්තිවලට සහභාගි වුණා. ඔවුන්ගේ පියා ධර්මානුකූලව දරුවන් හැඩ ගස්වන්න වෙහෙසුණා.
1941 දී පර්ල් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වුණා. 1943 දී ඇය ගුරු විභාගෙට පෙනී සිටියා. ඒ කාලෙ ගුරු විභාගෙන් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය තරම්ම වැදගත් කොට සැලකුවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල පැවැති ඉංග‍්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලෙට ඇතුළත් වෙලා දෑවුරුදු පුහුණුව ලැබුවා.
1946 දී මුල්ම පත්වීම ලැබිල යළිත් තමා උගත් පාසලටම යන්නට පර්ල්ට වාසනාව උදාවුණා. ඇය ෆර්ගසන් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවයට එක් වුණා. 1948 දී ඇයට කඩවත ඉංග‍්‍රීසි විද්‍යාලෙට මාරුවක් ලැබුණා. ඒ වනවිට මවුපියොත් කඩවත පදිංචි වෙලා සිටියා. පර්ල් 1954 වන තුරු කඩවත විද්‍යාලෙ ඉංග‍්‍රීසි ඉගැන්නුවා.
1954 දී කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වුණා. ඒ පාසලේ උගන්වමින් සිටියදී 1956 දී ඈට උසස් වීමක් ලැබුණා. ඒ විදුහල්පතිනියක් ලෙස ෆර්ගසන් උසස් බාලිකාවට. හිටපු විදුහල්පතිනිය මාතලේ බී.එම්.එස්. විද්‍යාලයට මාරුවී ගියා.
තමා උගත් පාසල. සුපුරුදු වටපිටාව. ඇතැම් ගුරුතුමියක් ඒ වනවිටත් සේවයේ. පර්ල්ට විදුහල්පති ධූරයේ කටයුතු ඒ තරම් අසීරු නොවූයේ හැම දෙනාගෙම සහය ඈට ලැබුණු නිසයි.
1957 වසර විද්‍යාලෙට අනුස්මරණීය වසරක්. ඒ විදුහලේ හතළිස්වැනි සංවත්සරය යෙදී තිබූ නිසා. ඒ වනවිට වසර විසි පහකට අධික කාලයක් පාසලට අගනා මෙහෙවරක් ඉටු කළ ඕල්සොප් මෙනෙවියගේ උපන් දිනයක් නිමිතිකොට ගෙන මාර්තු 27 වැනිදා පාසලේ උපන් දිනය ලෙස නම් කොට තිබුණා.
සතියක් ම සංවත්සරයට වෙන් වුණා. සඟාවක් පළ කළා. පහන් හතළිහක් එෆ්.එච්.එස් යන අකුරුවල හැඩයට දැල්වූවා. පාසල් සංවර්ධන අරමුදලක් පිහිටෙව්වා. සන්ධ්‍යාවේ තෑගි ප‍්‍රදානෝත්ස්වයට පසුදා ආදී ශිෂ්‍ය සංගමය සහ එකල සිසුවියන් අතර නෙට්බෝල් තරගයක්. ඒ සති අන්තෙ ඉරිදා විශේෂ ස්තුති පූජාවක්. පර්ල් විදුහල්පතිනියට මේ කටයුතු අමුතු දේවල් නොවුණේ ඒ ඈ ඉගෙනගත් හැදී වැඩුණු පාසල් මාතාවගේ සෙවණ නිසයි.
1958 දී පැවැත්වුණු තෑගි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඈ උගත් පාසල නිසා පාසලේ අඩුපාඩු සකස්කරගන්නට සහයෝගයක් ලබා ගන්නට විදුහල්පතිනියට හැකි වුණා. ඒ වනවිට පාසලේ ශිෂ්‍යාවන් 2500 ක් පමණ.
රත්නපුරයේ නගරයට නුදුරින් කළු ගඟ පසුබිමේ පිහිටි සුන්දර කඳුගැටයක් මත පිහිටි දේවස්ථානය වටා පාසලේ ගොඩනැඟිලි ඉදිකොට තිබුණා. ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන විට මේ ගොඩනැගිලි ඉඩ මදි. රජයට කරදර නොකර විවිධ ප‍්‍රසංග , ප‍්‍රදර්ශන, සැණකෙළි පවත්වා ගොඩනැගිලි අරමුදලට මුදල් එක් රැස් කරගන්නට විදුහල්පතිතුමිය සමත් වුණා. ආදි ශිෂ්‍යාවො, ගුරු දෙගුරු සමිතිය වගේ ම ආචාර්ය මණ්ඩලේත් ඒ සඳහා ඇයට උපරිමයෙන් සහය වුණා.
ඒ වනවිට පාසල රජයට අරන්. රාජ්‍ය භාෂාව සිංහල බවට පත් වෙලා. පාසලේ සිංහල ඉංග‍්‍රීසි වගේ ම ද්‍රවිඩ මාධ්‍යයෙනුත් ඉගැන්වීම් කළා. සෞන්දර්ය හා අත්කම් පෙහෙකම්වලටත් විශේෂ තැනක් ලැබුණා. බාලිකාවන්ගේ නිර්මාණ සහිත පොළ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය අංගයක් බවට පත් වුණා. උසස් පෙළ කලා පංති ඇරැඹුණා. කොළඹ වෙන්ඩි වොට්මර් භාෂා අධ්‍යයන ක්ෂේත‍්‍රයේ ගුරුවරියක් සතියකට වරක් ගෙන්වා ශිෂ්‍යාවන්ට ඉංග‍්‍රීසි උච්චාරණය ප‍්‍රගුණ කෙරෙව්වා.
වාර්ෂික ගායනා තරග පාසලේ ජනප‍්‍රිය අංගයක්. ගායනය පුරුදු පුහුණු කිරීමට ප‍්‍රවීණ ආචාර්යවරියක් සිටියා. ශිෂ්‍යාවො වගේ ම ගුරුවරියොත් ගායනාවලට සම්බන්ධ වුණේ සතුටින්. නත්තල් කැරොල් ගී ගයපු පාසලේ ගීතිකා කණ්ඩායමට ප‍්‍රදේශයේ විශාල ජනප‍්‍රියත්වයක් හිමි වුණා.
1960 දක්වා පාසල පාලනය වුණේ කි‍්‍රස්තියානි මිෂනාරිවරුන් යටතේ. 1960 න් පසුව එය රජයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ පාලනයට යටත් කැරුණා. ඒ වසරේදී ම කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි ශිෂ්‍යාවන් දෙදෙනාම විශ්වවිද්‍යාලයට තේරුණා.
ඒ වනවිට බෞද්ධ කි‍්‍රස්තියානි මුස්ලිම් හින්දු යන ආගම් හතරම අදහන ශිෂ්‍යාවන් පාසලේ සිටියා. සෑම ආගමක් ම එකසේ අදහන්නටත්, ශිෂ්‍යාවන්ට නිදහස ලැබුණා. පොහොය නිමිතිකොට ගෙන ධර්ම දේශනා පැවැත්වීමටත් ශීල ව්‍යාපාර හා දාන දීමටත් පර්ල් විදුහල්පතිනිය උනන්දුවෙන් කටයුතු කළා.
1967 පාසලේ ස්වර්ණ ජයන්තිය මහා ඉහළින් සැමරුණා. අලෙවි ප‍්‍රදර්ශන, නැටුම් සන්දර්ශන හා සැණකෙළි මගින් ඉපැයූ ආදායම නව නේවාසිකාගාරය, විදුහල්පති කාර්යාලය, නිල නිවාසය හා විද්‍යාගාර තැනීම සඳහා යොදවනු ලැබුවා. ස්වර්ණ ජයන්ති උලෙළේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ එවකට අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා. ඒ වසරේ අගභාගයේදී පාසලේ නව ගොඩනැගිලි සංකීර්ණයට ගෙවැදුණා.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උසස් පෙළ විද්‍යාගාර සඳහා උපකරණ ලැබුණා. 1970 දී මේ ගොඩනැගිලි විවෘත කොට අධ්‍යාපන කටයුතු ඇරැඹුණා. දිනෙන් දින ප‍්‍රගතිය විදහා දැක්වූ ෆර්ගසන් බාලිකාවට අවශ්‍ය ගුරුවරු වගේ ම පාසල් උපකරණත් ලබාගන්ඩ විදුහල්පතිතුමියට ඒ හැටි කරදරයක් වුණේ නෑ. ගුරුවරියන් ඇප කැප වෙලා ඉගැන්වුවා. පර්ල් මෙනෙවිය ශිෂ්‍යාවන්ට දැඩි ලෙස ආදරය කළා. ඔවුන්ගේ සුබසෙත පමණක් ම පැතූ ඈ විටෙක ඔවුන්ට දයාබර මෑණියෙක් සේම දැඩි ලෙස විනය සුරැකූ තද පාලිකාවක් ද වුණා.
1974 දී උසස්පෙළ විද්‍යා අංශයෙන් විභාගයට ලියූ ශිෂ්‍යාවන් ඉංජිනේරු හා වෛද්‍ය පීඨවලට ඇතුළත් වුණා. විද්‍යාලයේ දියුණුවට ඇප කැප වන අතරතුර විදුහල්පතිනිය උසස් අධ්‍යාපනයටත් යොමු වුණා. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.ඇස්.සී උපාධිය ලබාගන්නට ඈ සමත් වුණා. ඒ සඳහා ඇය හැදෑරුවේ ඉංග‍්‍රීසි, භූගෝලය සහ ආර්ථික විද්‍යාව. විදුහල්පතිනිය ලෙස කටයුතු කරන අතරතුර ඇය අවස්ථාවක් ලැබුණහොත් ශිෂ්‍යාවන්ට ඉගැන්වීම් කටයුතු කළේ ඉතා කැමැත්තෙන්. පාසලේ ම නැවතී සිටි නිසා ඇගේ මුළු කාලයම ගත වුණේ පාසල වෙනුවෙන්.
පාසලේ පහළ බාලාංශයට අලුතින් පත්ව ආපු ගුණරත්න ගුරුතුමිය පහළ බාලාංශය හොඳට දියුණු කළා. ඇය ඒ සඳහා කොතෙක් කැප වුණා ද කියතොත් එය ප‍්‍රදේශයේ ‘ආදර්ශ පාසලක්’ බවටත් පත් වුණා. පෙරදිග සංගීතය නැටුම් ගායන වාදන අංශවලින් වගේ ම කී‍්‍රඩා අංශයෙනුත් ෆර්ගසන් බාලිකාවන් දස්කම් දැක්වූවා. භක්ති ගීත තරගවලින් ජය ලැබූ බාලිකාවන් දුර බැහැර සංදර්ශන සඳහා සහභාගි කරවන මෙන් ප‍්‍රදේශයේ දේශපාලන ප‍්‍රභූවරයෙක් වරක් ඉල්ලා සිටියා. තමන්ගේ සිසු වියන්ට ප‍්‍රමාණවත් පහසුකම් හා ආරක්ෂාව සලසන්නට අපොහොසත් වූයෙන් ඈ ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා.
දේශපාලනඥයා ඈ සමඟ උරණ වුවත් ඇයට පීඩාවක් නොකළේ ඇගෙන් ඉටු වූ මෙහෙවර ඔවුන් හොඳින් වටහාගෙන සිටි නිසයි. උඩරට හා පහත රට තූර්ය වාදන කණ්ඩායම් එකල පළාතේ බොහෝ තරගවල දී මුල් තැනට පත් වුණා.
පාසලට අවශ්‍යව තිබූ ගොඩනැගිලි රැසක් ඉදිකර දෙන්නට ඈ සමත් වුණා. 1978 දී නව ගෘහ විද්‍යාගාරය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් අලුතින් එක් වුණා. පාසලේ අධ්‍යාපනික, චර්යාත්මක මෙන් ම භෞතික සංවර්ධනය උදෙසා ද අතිමහත් මෙහෙවරක් ඉටු කළ පර්ල් පෙරේරා විදුහල්පතිනිය 1980 දී විශ‍්‍රාම ගත්තා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමකින් යුතු වූ ඈ අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි අධ්‍යයන අංශයේ උපදේශිකාවක ලෙස සේවයට එක් වුණා.
1997 දක්වා පුරා වසර 17 ක් එහි සේවය කළ ඈ ඉන් ඉවත් වුණේ සැබැවින් ම ජීවිතේට විශ‍්‍රාමයක් අවශ්‍ය නිසාමයි. ඉංග‍්‍රීසි අධ්‍යයන අංශයේ දී ඈ හඳුනාගත් ආචාර්යවරියන් අදටත් ඈ ළඟින් ඇසුරු කරන මිතුරියන්. තනිකඩ ජීවිතයේ නිදහස උපරිමයෙන් අත් විඳින ඈ සංචාරයට වගේ ම පොත පත කියවන්නටත් ඉතා කැමතියි.
අද රත්මලානේ සිය සොහොයුරිය ගේ දරුවන් ද ඔවුන් ගේ දූ දරුවන්ගේ ද සෙනෙහස මැද ජීවිතයේ සැඳෑ සුවය විඳින පර්ල් පෙරේරා විශ‍්‍රාමික විදුහල්පතිනිය ගෙවුණු අතීතය මෙනෙහි කරන්නේ නිවී සැනැහුණු සොම්නසින් යුතුවයි.

Printfriendly